බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගිය ධීවරයින් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමට පියවර
July 26, 2026 10:05 pm
මුහුදේදී ආපදාවට පත්ව බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගිය මාතර, දෙවුන්දර ප්‍රදේශයේ ධීවර පියා සහ පුතු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සෘජුව මැදිහත්වී තිබේ.
පසුගිය ජුනි 19 වනදා දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු රැකියාව සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ‘සොමිරැස’යාත්‍රාවේ සිටි එස්. එච්. පියසේන මහතා සහ ඔහුගේ පුත් එස්. එච්. චමින්ද මහතා මෙලෙස බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගොස් තිබුණි.
එම ධීවර යාත්‍රාව මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව, එහි සිටි එක් ධීවරයෙකු වෙනත් යාත්‍රාවකින් ගොඩබිමට පැමිණ තිබුණි.
කෙසේ වෙතත්, යාත්‍රාවේ හිමිකරු වන පියසේන සහ ඔහුගේ පුත් චමින්ද යාත්‍රාව අත්නොහැර එහි රැඳී සිට ඇති අතර, යාත්‍රාවේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් හෝ ගොඩබිම සමඟ සන්නිවේදනය කළ හැකි HF ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීම දුෂ්කර වී තිබුණි.
ඔවුන් සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ මෙහෙයුම්ද සාර්ථක වී නොමැත.
කෙසේ වෙතත්, පවතින මුහුදු දියවැල් අනුව යාත්‍රාව දුරස්ථ ප්‍රදේශයකට පාවී යා හැකි බවට ධීවර දෙපාර්තමේන්තුව කළ නිගමනය මත විදේශ තානාපති කාර්යාල දැනුවත් කර තිබුණි.
ඒ අනුව, යාත්‍රාව බංග්ලාදේශ මුහුදු සීමාවට පාවී ගොස් ඇති බව තහවුරු වී ඇති අතර, බංග්ලාදේශ ධීවරයන් පිරිසක් විසින් එහි සිටි පියා සහ පුතු මුදාගෙන තිබුණි.
දිනක පමණ කාලයක් බංග්ලාදේශ ධීවරයෙකුගේ නිවසේ රැඳී සිටි ඔවුන් මේ වනවිට චිතගෝන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක භාරයේ පසුවන බව සඳහන් වේ.
මෙම පුවත සැලවූ වහාම නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත දැනුම් දී ඇත්තේ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.
